2023 ITN පාඩුව රු. ලක්ෂ 1640
2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බලන ලදී.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 13.11.2025 වන දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
2023 වර්ෂය සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වාර්ෂික වාර්තාව ප්‍රථමයෙන් කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී කරුණු දැක්වූ එම මාධ්‍ය ජාලයේ ප්‍රධානීහු වර්තමානයේ ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයන් හා අනෙකුත් ගැටලු පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ.
2023 වාර්ෂික වාර්තාව අනුව එම වසරේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය රුපියල් මිලියන 164 ඉක්මවූ පාඩුවක් ලබා ඇති බව දක්වා ඇත. කෙසේ වෙතත් එම පාඩු ලැබීමේ තත්ත්වය ක්‍රමිකව අඩු කරගනිමින් නැවත යථා තත්ත්වයට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව එම නිලධාරීහු පැවසුහ.
පසුගිය වසර කිහිපය තුළ අයකර ගැනීමට ඇති, ආයතනයට ලැබිය යුතු හිඟ මුදල් අයකරගැනීම ප්රශස්ත මට්ටමක පවතින බවත් ඔවුහු කාරක සභාවට දැන්වුහ.මෙහිදී ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ඉන්දියානු ටෙලිනාට්‍ය මාලාවන් අධික මුදලකට මිලදී ගෙන තිබීම හා එම ටෙලිනාට්‍ය වලට තවදුරටත් ගෙවීමට තිබෙන මුදල් පිළිබදව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය.
එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවලට විකාශන කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කරන ලදී. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ පවතින ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳා ගන්නා ආකාරය පිළිබඳව මාස 3ක් තුළ කාරක සභාව දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව කාරක සභාවේදී සලකා බලන ලදී. එහිදී එම ආයතනයේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය ඇතුළු ක්‍රියාකාරිත්වය පිළිබඳව කාරක සභාව දැනුවත් කළහ. දැනට ඔවුන්ට ගෙවීමට ඇති ගෙවීම් වලින් 48%ක ප්‍රමාණයක්ම දඩ මුදල් සහිත ගෙවිය යුතු බදු බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දැනට පවතින තාක්ෂණික උපකරණ ඉතා පැරණි මට්ටමක පවතින බව පෙන්වා දුන් එම නිලධාරීහු සමහර විදුලි උපකරණ සේවකයින් විසින් ක්‍රියාත්මක කරනුයේ ජිවිත අවධානමක් සහිතව බවත් පෙන්වා දුන්හ. එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පවතින භුමියේ හිමිකාරිත්වය තවමත් සංස්ථාව සතුව නොමැති බවත් ඉදිරි සංවර්ධන කටයුතු වලදී භුමියේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සතුව පැවතීමේ වැදගත්කම පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ආයතන ද්විත්වය නගා සිටුවීමට සඳහා උපායමාර්ගික සැලසුම්වල වැදගත්කම පෙන්වා දුන් අතර මෙම ඉදිරිපත් වූ කරුණු අදාළ අංශ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

